“ඕනෑම මානව සම්බන්ධයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි. නමුත් තවදුරටත් මිනිසුන් සංවාදයක යෙදෙන්නේ නැත. ඔවුන් එකට වාඩිවී කතා කරන්නේ හෝ අනෙකාට ...
“ඕනෑම මානව සම්බන්ධයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි. නමුත් තවදුරටත් මිනිසුන් සංවාදයක යෙදෙන්නේ නැත.
ඔවුන් එකට වාඩිවී කතා කරන්නේ හෝ අනෙකාට සවන් දෙන්නේ නැත. ඔවුන් රඟහලට යයි. සිනමා ශාලාවට යයි. රූපවාහිනි නරඹයි.
රේඩියෝවට සවන් දෙයි. පොත් කියවයි. නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම් නැවතත් ගිනිමැළයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි” ශේ්‍රෂ්ඨ බ්‍රසීලියානු කතුවර පවුලෝ කොයියෝ විසින් වසර ගණනාවකට පෙර සිදුකරන ලද මෙම ප්‍රකාශය වර්තමානයටත් වලංගු වන අතර වර්තමානයේ මෙම ප්‍රකාශයෙහි තීව්‍රතාව ජංගම දුරකථන හා පරිගණක මෙන්ම අන්තර්ජාල භාවිතයත් සමඟ වඩාත්
වැඩිදියුණු වූ තත්ත්වයකට පත්වී ඇති බව හඳුනා ගැනීමට පුළුවන. මානව සම්බන්ධතාවල පදනම වන්නේ සන්නිවේදනයයි. පුද්ගලයන් හෝ පවුලේ සාමාජිකයන්, සැමියා, බිරිය, මවුපියන් හා දරුවන් අතර ගොඩනැඟෙන සන්නිවේදනය තුළින් යහපත් සබඳතා ඇතිවීම හා ඒවායේ ශක්තිමත්භාවය වැඩිදියුණු කර ගැනීමක් සිදුවේ.
මෙම යහපත් සබඳතාවන් පී්‍රතිමත් හා සාර්ථක ජීවිතයකට මඟපාදන අතර ඒ තුළින් පී්‍රතිමත් සමාජයක් ගොඩනැඟීම සඳහා මංපෙත් විවර කෙරේ.
සමාජයේ කුඩාම තැනුම් ඒකකය වන පවුල තුළ ඇති සමඟිය, සමාදානය හා පී්‍රතිමත්භාවය තුළින් එම පවුලේ සුබසාධනය මෙන්ම සමාජ සුබසාධනයටද මඟපෙන්වයි.
සමාජ විද්‍යානුකූල ඇසින් බැලුවහොත් පවුල යනු “දරුවන් ඇති දැඩි කරගෙන ආර්ථික සහයෝගිතාවක් පවත්වාගෙන යමින් එක් නිවෙසක එකට වාසය කරන විවාහක යුවළක් හෝ ඥාතීන් සමූහයක්” යනුවෙන් සරලව අරුත් ගැන්විය හැකිය.
පවුලේ කාර්යභාරය වශයෙන්,
-ජීව විද්‍යාත්මක කාර්යයන්
-ආර්ථික කාර්යයන්
-සංස්කෘතික කාර්යයන්
-මනෝ විද්‍යාත්මක කාර්යයන්
මූලික වශයෙන් හඳුනා ගැනීමට පුළුවන. මූලික වශයෙන්ම විවාහයක් පදනම් කරගනිමින් පවුල බිහිවන බව මෙම නිර්වචනයට අනුව සරලව හඳුනා ගැනීමට හැකි වන අතර පවුලේ සැමියා හා බිරියට එම පවුල තුළ විශාල කාර්යභාරයක් සහ තත්ත්වයක් පවතින බව වැඩිදුරටත් හඳුනා ගැනීමට හැකිවේ.
පුරුෂයකු හා ගැහැනියක අතර ඇතිවන නීත්‍යනුකූල ලෙස ලිංගික සබඳතා ඇති කිරීමේ නෛතික ගිවිසුමක් වශයෙන් සමාජ විද්‍යාත්මක ඇසින් විවාහය යන්න නිර්වචනය කිරීමට පුළුවන.
එසේ පුරුෂයකු හා කාන්තාවක් මූලික වෙමින් ආරම්භ කරන පවුල පසුකාලීනව දරුවන් ලැබීම තුළින් තවදුරටත් විකාශය වේ. මානව පරිණාම ක්‍රියාවලිය තුළදී පවුල තුළ පුරුෂයාගේ කාර්යභාරය වී ඇත්තේ පවුල සඳහා ඉපයීම වන අතර ගැහැනිය රැස්කිරීම, ආරක්‍ෂා කිරීම වැනි කාර්යභාරයන් සිදුකොට ඇත.
පුරුෂයා විසින් සතුන් හඹා ගොස් දඩයම් කොට ඇති අතර ගැහැනියගේ කාර්යභාරය වී ඇත්තේ තම දරුවන් ආරක්‍ෂාකර ගනිමින්, ආහාර පිසිමින්, පරිසරයෙහි ඇති දේ රැස්කිරීමයි.
වසර දහස් ගණනක් කාලයේ ඇවෑමෙන් හෝමෝ සේපියන්ස් මානවයා බවට පරිවර්තනය වී ඉතා සංකීර්ණ හා දියුණු සමාජ රටාවකට අවතීර්ණ වී සිටින, වර්තමානයේ පවුල තුළ ස්ත්‍රියගේ හා පුරුෂයාගේ භූමිකාවන් හාත්පසින් වෙනස් වී ඇති බවක් නිරීක්‍ෂණය වන අතර මෙම සංකීර්ණත්වය තුළින් ස්ත්‍රී-පුරුෂ භූමිකාව විශාල වශයෙන් පරිවර්තනයට ලක්වී ඇති බව අධ්‍යයනය කළ හැකිවේ.
තාක්‍ෂණික දියුණුවේ ඉහළම තලයක් දැකගැනීමට හැකි වර්තමානයේදී මානව සම්බන්ධතාවන්ට පත්වී ඇති ඉරණම ඉතා දුක්ඛදායක වේ. පවුලේ සැමියා, බිරිය අතර සිදුවී ඇති කාර්යභාර ඝට්ටනය හා අනෙකුත් මානව, සමාජීය හේතු නිසා පවුල් සබඳතා දුර්වල වී ඇති අතර එකිනෙකා තේරුම් නොගැනීම හා අවබෝධ කර නොගැනීම ඊට ප්‍රධානතම හේතුවක් බවට පත්වී ඇත.
ස්ත්‍රිය හා පුරුෂයාගේ ශාරීරික සැකැස්ම හා මනෝභාවයන් මෙන්ම සමහර ජීව විද්‍යාත්මක ලක්‍ෂණ එකිනෙකාගෙන් වෙනස්වීම මීට ප්‍රධානම හේතුව වන අතර ඒ පිළිබඳ මූලික අවබෝධයක් නොතිබීම තුළින් ස්ත්‍රීන් හා පුරුෂයන් අතර පවුල් ජීවිත ගත කිරීමේදී ඉතා විශාල ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවන බව පැහැදිලි කරුණකි.
ගැහැනිය සහ පිරිමියා අතර විද්‍යාත්මක වශයෙන් පවතින වෙනස්කම් රාශියකි. මෙම වෙනස්කම් පිළිබඳව ගැහැනිය සහ පිරිමියා අතර පවතින අනේයාන්‍ය අවබෝධය මත ගැටුම් ඇති වන්නේද, නැද්ද යන්න තීරණය වේ.
ඉතා සරලව පවසන්නේ නම් ස්ත්‍රිය හා පුරුෂයකු අතර පවතින අනේයාන්‍ය වෙනස්කම් හඳුනා නොගැනීම හා අවබෝධ කර ගැනීමට ඇති අපොහොසත්භාවය හේතු කොට ගනිමින් බොහෝ අවස්ථාවලදී එම ගැටලු, දුරදිග ගිය පවුල් ආරවුල් වශයෙන් වැඩිදියුණු වී විවාහය දික්කසාදයකින් කෙළවර වන අවස්ථා සුලබ බව නිරීක්‍ෂණය කර ගැනීමට පුළුවන.
ගැහැනුන් උපතින්ම සංවේදීතාව වැඩි කොට්ඨාසයකි.
ඒ පිළිබඳව සිදුකොට ඇති පර්යේෂණ මඟින් හෙළිවී ඇත්තේ පංච ඉන්ද්‍රියන් ඇසුරෙන් ලබන සංවේදනයන්ගෙන් ගැහැනිය පිරිමියා අභිභවන බවයි.
දෘෂ්ටිය සම්බන්ධයෙන් සලකා බලතොත් ගැහැනියගේ දෘෂ්ටි පරාසය පුරුෂයාට වඩා වැඩි බව පර්යේෂණ මඟින් තහවුරු කොටගෙන ඇත. ගැහැනියට එකවර අංශක 180ක පුළුල් පරාසයක් දැකීමට පුළුවන.
සැමියාට එකවර සොයාගත නොහැකිව කෑගසමින් සිටින ලාච්චුවක හෝ රාක්කයක් මත ඇති යතුරු කැරැල්ලක් බිරිය විසින් එක්වර සොයා ගන්නේ එම හේතුවෙනි.
“ගැහැනුන්ට පස්සෙත් ඇස් තියෙනවා” යන ප්‍රසිද්ධ කියමන ගොඩනැඟී ඇත්තේ මෙවැනි කාරණා ඇසුරෙන් වීමට පුළුවන. ඇසේ සැකැස්ම වශයෙන් ගතහොත් පිරිමියාගේ ඇස් ගැහැනුන්ගේ ඇස්වලට වඩා මඳක් විශාල වුවද, පිරිමි ඇසේ දෘෂ්ටි විතානය සැකසී ඇත්තේ අතීත දඩයක්කාරයාට තම ගොදුර දෙස එක එල්ලේ බලා, හඹා ගොස් දඩයම් කර ගැනීම සඳහා අවශ්‍ය වූ පරිදි තනි කෙළින් එක එල්ලේ අෑත බැලීම සඳහාය.
මේ පිළිබඳව පර්යේෂණයන් මඟින්ද තහවුරු කොට ඇත.
පාර මාරුවීමේදී සිදුවන අනතුරු සම්බන්ධයෙන් බි්‍රතාන්‍යයේ හා ඕස්ට්‍රේලියාවේ කෙරී ඇති පර්යේෂණයන්ට අනුව අනාවරණය වී ඇත්තේ පාර මාරුවීමේදී ගැහැනුන්ට සාපේක්‍ෂව දෙගුණයක්. පිරිමින් අනතුරට ලක්වී ඇති බවයි.
එවැනි අවදානමක් පිරිමින්ට ලැබී ඇත්තේ එකවර අවට වටපිටාව දැකීමේ හැකියාව සීමාසහිත වීම හේතුකොට ගෙනය. පුරුෂයා “වෙනත් ස්ත්‍රීන් දෙස බලන්නේය” යන දෝෂාරෝපණයට නිරන්තරයෙන් ලක් වන්නේද මෙම හේතුව නිසාමය.
පිරිමින්ට සාපේක්‍ෂව ගැහැනුන් ඊට සමාන චෝදනාවකට ලක් නොවන්නේ ගැහැනු පිරිමින් දෙස හොරෙන් නොබලන නිසා නොව, ගැහැනුන් පිරිමින් මෙන් එක එල්ලේ යමක් දෙස නොබලන බැවිනි.
පිරිමියා අතීත දඩයක්කාරයා මෙන් නිශ්චිතව දෑස් එල්ල කොට එක එල්ලේ යමක් දෙස බැලීම හේතුවෙන් නිරතුරුව මෙම චෝදනාවට ලක්වේ.
දෘෂ්ටියට අමතරව ගැහැනුන්ට පුළුල් පරාසයක වර්ණාවලියක් දැකීමේ හැකියාවක් පවතී. ගැහැනියගේ කේරා්මසෝම නිර්මාණය වී ඇත්තේ “XX” වශයෙන් වන අතර පුරුෂයාගේ එය “XY” වේ. ඇස්වලට වර්ණ දැකීමේ සෛල ලබා දෙන්නේ X නමැති කේරා්මසෝමය තුළිනි.
කාන්තාවට මෙම X කේරා්මසෝම දෙකක් පිහිටීම නිසා කාන්තාවට ස්වභාවයෙන්ම වර්ණ පුළුල් පරාසයකින් යුතුව හඳුනා ගැනීමට පුළුවන.
පිරිමියා බොහෝ විට සමත් වන්නේ නිල්, කොළ, රතු වැනි මූලික වර්ණ පමණක් හඳුනා ගැනීමට වන අතර ගැහැනිය එකම වර්ණයක් තුළ විවිධාකාර පරාසයන් හඳුනා ගැනීමට සමත් වේ.
නිල් පැහැය තුළ ඇති අහස් නිල, මොනර නිල වැනි ප්‍රභේද කාන්තාවන්ට හඳුනා ගත හැකි වන්නේ ඉහත කී ලක්‍ෂණ හේතුවෙන් වන අතර ස්වාමිපුරුෂයා, බිරිය විසින් පවසන වර්ණයක ඇඳුමක් හෝ වෙනත් භාණ්ඩයක් එම වර්ණයෙන්ම තෝරාගෙන ඒමට අසමත් වන්නේ මෙම හේතුව නිසාවෙනි.
මීට අමතරව පර්යේෂණවලින් හෙළිවී ඇති පරිදි ගැහැනුන්ගේ කන් ඇසීම පිරිමින්ට වඩා තීව්‍ර වන අතර උච්චාරණය ඉහළ පහළ බව ක්‍ෂණිකව හඳුනා ගැනීමට හැකියාව ඇත.
රාත්‍රියේ දරුවා නින්දෙන් ඇහැරී කෙඳිරි ගාන විටම පියාට පෙර මව අවදි වන්නේ ගැහැනුන් සතු තීව්‍ර ශ්‍රවණ හැකියාව හේතුවෙනි. එසේම ගඳ සුවද හා රස දැනීමේ ශීඝ්‍රතාවද පුරුෂයන්ට වඩා කාන්තාවන්ට වැඩි බව පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත.
මෙම කාය ජීව වෙනස්කම් නිසා නිවෙසේ රූපවාහිනියේ ශබ්ද්ධ වැඩිවීම නිසා සැමියා, බිරිය අතර ඇතිවන ගැටලු සේම ස්වාමියා විසින් බිරිය සමඟ එදිනෙදා සිදුකෙරෙන සංවාදවලදී තම කටහඬ උස් පහත් කිරීමේ විලාසය කරණ කොට ගනිමින් ඇතිවන ගැටුම් අස්වාභාවික ඒවා නොවන බවත් හුදු ජීව විද්‍යාත්මක වෙනස්කම් තුළින් පැන නඟින ඒවා පමණක් බව අවබෝධ කර ගැනීමෙන් පවුල් තුළ ඇතිවන ගැටලු අවම වනු ඇත.
ගැහැනුන්ගේ සම පුරුසයන්ට සාපේක්‍ෂව තුනී වන අතර සමේ සංවේදීතාව අතින් බැලුවොත් පුරුෂයාගේ සමට වඩා දස ගුණයකින් ඇල්ලීමට, තෙරපීමට හා ස්පර්ශයට සංවේදී වේ. කුඩා ගැහැනු දරුවන් තමාව ඇල්ලීමට, අතපත ගෑමට හා සිප ගැනීමට ඉතාම කැමැත්තක් දැක්වුවත් කුඩා පිරිමි ළමයින් එසේ කිරීමට අකැමැති වන්නේ මේ හේතුව නිසාවෙනි.
වැඩිහිටි කාන්තාවන්ද තම ස්වාමිපුරුෂයාගෙන් හෝ ප්‍රේමවන්තයාගෙන් වැලඳගැනීම්, සිප ගැනීම් හෝ ස්පර්ශ කිරීම සඳහා වැඩි කැමැත්තක් දක්වන්නේ මෙම කරුණු හේතුවෙනි. එසේ ප්‍රමාණවත් පරිදි තම සහකරුවාගෙන් ස්පර්ශයන් නොලැබී යන විට කාන්තාව පුරුෂයා තමන්ව “ගණන් නොගනී”, “ආදරය නොකරයි“, “අවධානයක් නොදක්වයි“ යනුවෙන් වැරැදි නිගමනවලට එළැඹේ. කාන්තාවන්ගේ සිත දිනාගැනීමට නම් මෙම කාරණය පුරුෂ පක්‍ෂය අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය.
මනෝ උපදේශිකා - සංජීවනී සෙනවිරත්න