නෙළුම් කුළුණ ගැන බොහෝ දෙනා විවිධ ස්වරූපයෙන් කතා කරති. කෙසේ වුවද නෙළුම් කුළුණ අපේ පොළවට ඉපදී මේවනවිට වසර 10 කි. ඒ් අනුව සියළු කටයුතු හමාර ...
නෙළුම් කුළුණ ගැන බොහෝ දෙනා විවිධ ස්වරූපයෙන් කතා කරති.
කෙසේ වුවද නෙළුම් කුළුණ අපේ පොළවට ඉපදී මේවනවිට වසර 10 කි.
ඒ් අනුව සියළු කටයුතු හමාර වූ කොළඹ නොළුම් කුළුණ සැප්තැම්බර් 15 සිට ඔබ වෙනුවෙන් විවෘත වන්නේය.
මේ ඒ් ගැන සටහනයි
ජීවිතයේ මියුරුම සිහිනයක් නෙත් මානයේ සැබෑවී ඇති අයුරු විඳිමි. ලෝකයේ අරුම දකිමින් දුහුල් වලාකැටි විනිවිද සදෙව්ලොවට වඩින සුරඟනන් හා එක්ව යන ගමන් පිළිබඳ පැටි වියෙහි මැවූ චිත්ත රූප මෙයම නොවේ දැයි සිතේ.
ලෝකයේ මනරම්ම රැම්සා තෙත් බිම් නගරය මා පාමුලය. කිරිල්ලියක ලෙස ඒ දැකුම විඳිමින් ඒ කාලයෙන් මොහොතක් හෝ ගිලිහී යෑමට නොදී මා වටා ගොනු කරන්නට සිතේ.
මා මේ ගතකරමින් සිටින්නේ කොළඹ නෙළුම් කුලුන මතය. කුලුනේ ඉහළ ප්රවේශයේය. එය නම්කර ඇත්තේ “කොළඹ අහස යට“ ලෙසය.
මා පාමුල විසිරුණ කොළඹ නගරය එක් කැටියකට නෙත් ග්‍රහණයට ගත හැකිය. බේරේ වැව පෙනෙන්නේ කොළඹ සරසන හරිත විල්ලුද ඇතිරිල්ලක් ලෙසය.
ලෝක වෙළෙඳ සංකීර්ණයේ සිට නමින් හඳුනාගත හැකි - නොහැකි පෞරුෂවත් දැවැන්ත ගොඩනැගිලි සිඟිති කැටයම් සේ පාමුලින් මතුව එනු පෙනේ. ඒ දැවැන්තයන් මට පෙනෙන්නේ අඟුටුමිට්ටන් ලෙසිනි.
කොළඹ අතෝරක් නැති ගොඩනැගිලි පියැසි බොහෝ විට මතුව පෙනෙන්නේ හරිත තුරු වියනක් පසුබිමේය. පීත්ත පටි සේ ඇදෙන සියක් මං හි කුඩා කුරුමිනියන් සේ ඇදෙන වාහනය. නුදුරින් හැකිළී පෙනෙන කොටුව දුම්රියපොළය.
ගොඩනැගිලි පියැසිවලින් එපිට දිවෙන අවකාශය එක් පසෙකින් කොළඹ වරාය, ඉදිවෙමින් ඇති වරාය නගරය පසුකර නීලවර්ණ මුහුද සීමාවේ අනන්තය තෙක් දිවෙයි. අනෙක් පස ආවරණ වන්නේ රට මැද වූ කඳුවැටි සීමාවෙනි.
දුහුල් වලා රොද අතරින් නැඟුණ මධ්‍යම කඳුකරයේ ගිරිහිස් රේඛාවෙන් සලකුණු වන මේ අවකාශය නිල් කොළ අළු මිශ්‍ර සජීවි වර්ණ ගොනුවකින් මා අබියස සිත්තම් වී ඇත.
වැහිබර අහස සහ මිහිදුම මුසු ඈත අවකාශය බොහෝ දසුන් තියුණු ලෙස පෙන්වන්නේ නැත. නමුත් වලාකුළු රහිත නිල් අහස සහිත දිනයක සීගිරිය, සිරිපා සිරස, නකස්ල් කඳු පන්තිය මෙතැනට පෙනෙන අයුරු දැන ගත්තෙමි. එම ස්ථාන නිරීක්ෂණය සඳහා දුරේක්ෂ ද සවි කෙරේ.
දකින දැකුමින් අත්මිදෙන්නට සිතෙන්නේ නැත. මා විඳින මේ අසීමිත අත්දැකීම ඔබ වෙනුවෙන් විවෘත බව ප්‍රහර්ෂයෙන් ලියා තබමි. ලබන 15 වැනිදා සිට. මේ සටහන තබන්නේ ඒ බව කියන්නටය.
විටෙක නෙළුම් කුලුනේ පණගැන්වෙන ජීවිතය බොහෝ දුර්භෝගම වළඳමින් ගෙවූ අපේ ජීවිතවලට සිහිනයක් තරමටම දුරය. එවැනි උත්කර්ෂයක් මේ පුංචි රට තුළ ඇති බව අත් දකින අතරම මනරම් දැකුම් පෙළහරක් විඳීමට අවකාශය සැලසීම අමුතුම ආකාරයේ ජීවිත අත්දැකීමක් වනු ඇත.
නෙළුම් පොහොට්ටුවක හැඩයට මේ දැවැන්ත ඉදිකිරීම සම්බන්ධව ගිවිසුම් කටයුතු 2012 ජනවාරි 3 දින සිදුවන්නේය. එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂ විසින් 2012 ජනවාරි 20 වැනි දින කොළඹ නෙළුම් කුලුන සඳහා මුල්ගල තබන්නේය.
බාධක මැද පැමිණි දස වසකර කාලයක් ගෙවී ඇත. මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක් වියදමින් ඉදිවූ නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල ලෙස පණ ගැන්වී තිබේ. ලබන 15 වැනිදා සිට ඔබ ප්‍රවේශ වන්නේ මීටර තුන්සිය පනහක් උස ඒ, දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ලටය.
නෙළුම් කුලුන පරිශ්‍රය අක්කර 10.5ක් පුරා විහිදුන භූමි භාගයක පැතිරී ඇත. “කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම” පවසන ආකාරයට මේ වනවිට දෙශීය ආයෝජකයන් සියයට 80ක් සහ විදේශීය ආයෝජකයන් සියයට 20ක් නෙලුම් කුලුන සඳහා ආයෝජන ඉදිරිපත් කර තිබේ.
ආයෝජකයින් 22ක් ගිවිසුම් අත්සන් කිරීමට කැමැත්ත පළ කර ඇත. මේ වසරේ දෙසැම්බර් වනවිට උත්සව 15ක් සඳහා ඇනවුම් ලැබී තිබේ. ඉදිරිය සාර්ථකවන බව සමාගම කියන්නේ විශ්වාසයෙනි.
නෙළුම් කුලුනට ඇතුළු වීමට රුපියල් 500 සහ 2000 මිල නියම කළ ප්‍රවේශ පත්‍ර වේ. රුපියල් 500 මිල නියම කළ ප්‍රවේශ පත්‍රයකින් ඇතුළුවන පුද්ගලයන් කුලුන මතට පිටත් කරන්නේ කණ්ඩායම් වශයෙනි.
නමුත් රුපියල් 2000 ප්‍රවේශපත්‍ර සහිත අයකුට පෝලිමක් රහිතව කුලුන වෙත ගමන් කළ හැකිය. අවස්ථා කීපයක දී වුවද ඒ අත්දැකීම ලබාගත හැකිය.විදේශිකයෙක් සඳහා ප්රවේශපත්රයට ඩොලර් 20කි.
ගොඩනැගිල්ල මත විවිධ බැංකු, අවන්හල් ඇතුළු, උත්සව ශාලා සහිත සේවා සැපයුම් පරිශ්‍ර විවෘත වීමට නියමිතය. මෙම පරිශ්‍රයෙන් සේවා ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව එම සේවා සැපයුම් ස්ථානවලදී ප්‍රතිපූර්ණය කරනු ලබයි. ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශපත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට ද සැලසුම් කර තිබේ.
“කොළඹ අහස යට“ නම්වූ මේ මනරම් අවකාශයේ කොළඹ අහසට උඩින් සිටින්නාක් බඳු හැඟීමක් උපදවන නැරඹුම් මැදිරිය වෙත පැමිණීමට පෙර නරඹන්නෙක් පසුකර එන තැන් ගණනකි.
නෙළුම් කුලුන ප්‍රධාන කොටස් තුනකි. කුලුනු පාදම, කුලුනු බඳ, කුලුනු ගෘහය සහ ග්රාහක ඇන්ටනා සහිත කුලුනු කණුව ලෙසය. නෙළුම් කුලුනේ පොහොට්ටුව සේ පෙනෙන කුලුනු ගෘහය පිහිටා ඇත්තේ පොළොව මට්ටමේ සිට මිටර 244ක් ඉහලිනි.
ඇන්ටනා සහිත කුලුනු කණුව මිටර 103ක් උසය. සම්පූර්ණ කුලුනේ උස මීටර 351 වන්නේ එසේය. කුලුණු පාදම තට්ටු තුනකින් යුතුය.
ප්‍රධාන මුළුතැන්ගෙය සහ සේවා අංශය පිහිටා ඇත්තේ එහිය.
තට්ටු තුනට ඉහළින් ඇති නිදහස් අවකාශයකි. පාදම මැදිකොට කුලුනේ නෙළුම් දණ්ඩක් රූපණය කරන කොල පැහැති බඳ විහිදෙයි. කුලුණු බඳ විසින් දරා සිටින කුලුනු ගෘහයේ තට්ටු හතකි.
පළමු සහ දෙවන මහල් ජාතික විදුලි සංදේශ නියාමන කොමිසමේ මෙහෙයුම් පෙදෙසය. පළමු මහල නුදුරේදීම නවෝත්පාදන මධ්‍යස්ථානයක්, නව තාක්ෂණික අත්දැකීමක් ගොනු කරන
9D සිනමා ශාලාවක්, ඩිජිටල් කලා කෞතුකාගාරයක්, ඩිජිටල් බැංකු සේවා පද්ධතියක්, අවන්හලක් සහිතය.
එහි වර්ග ප්‍රමාණය වර්ග මීටර 1760කි.
දෙවන මහල ප්‍රදර්ශන ශාලාවක්, උත්සව ශාලා දෙකක්, උත්සව සඳහා පෙර සූදානම් ප්‍රදේශයක්, කාර්යාල පරිශ්‍රයක්, කුඩා රැස්වීම් කාමර දෙකක්, සහ සම්න්ත්‍රණ ශාලාවක් වේ.
සමස්ථ වර්ගඵලය වර්ග මීටර 2485කි. තෙවන මහල විවේකාගාරයක් සහිත ගෘහස්ථ නිරීක්ෂණ මණ්ඩපයකි.
හතරවන තට්ටුවේ ඇති අවන්හලේ නෙළුම් පොහොට්ටුවක ආකෘතිය සහිත දැල්වෙන විදුලි ධාරා සැදි විදුලි බුබුලුත් නෙළුම් පෙතිවල හැඩය ගෙන තිබේ. කහ, දම්, රෝස, රන්වන් වර්ණයෙන් වර්ණ ගැන්වුණු එම විදුලි ආලෝක ධාරා යට අපූරු ලොවකි.
මෙම උත්සව ශාලා වෙත වෙනම ප්‍රවේශ තිබේ. එහි පැවැත්වෙන උත්සව සඳහා සහභාගීවන්නනට ප්‍රවේශපත්‍ර ඇවැසි නැත. බැංකු, උත්සව ශාලා, අවන්හල්, කාර්යාල පරිශ්‍ර සහිත අවකාශ බදු දීමෙන් ප්‍රධානකොට ආදායමක් උපයා ගැනීමට නෙළුම් කුලුන පරිපාලනය කරන . “කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම” අපේක්ෂා කරයි.
කුලුනේ ප්‍රධානම ආදායම් උත්පාදන මාර්ගයක් සේ සැලසුම් වී ඇත්තේ සන්නිවේදන සේවා සඳහා තාක්ෂණික ඉඩකඩ ලබා දීමය. ඒ වෙනුවෙන් ග්රාහක ඇන්ටනා ස්ථාපිත කිරීමය. එමෙන්ම නෙළුම් කුළුනේ කොලපැහැති බඳ නියමිත ආකෘතියකට අනුව වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය සඳහා ලබා දීමට ද යෝජනා වී ඇත.
පස්වන තට්ටුව නෙළුම් කුලුනට අනන්‍ය වූ කැරකෙන අවන්හලය. එය මෙතෙක් අපට සිහිනයක් වූ අත්දැකීමකි. පැය එක හමාරක් කාලයක් තුළ අවන්හල අංශක තුන්සිය හැටක සමස්ථ දර්ශන පථමය ආවරණය කිමින් කැරකෙයි.
අවන්හලේ පැය තුනක් ගත කළ හැකිය. එය ආශ්වාදනය කළ යුතුම අත්දැකීමකි. මා ඒ සුපිරි අවන්හලේ සුවපහසු අසුනක ඉඳගෙන කෝපි කෝප්පයක් තොලගාමින් ඉහළ අවකාශයේ ආනන්දනීය දැකුම් වින්දනයකර ගත හැකි මොහොතක් ගැන කල්පනා කළෙමි.
හයවන තට්ටුවේ සම්පූර්ණ සුඛෝපභෝගී නිවාසය. එහි අධි සුඛෝපභෝගී නිවාස 06ක් ඉදි වී තිබේ. එම නිවාස පන්තිය අප දකින සිහිනවලටත් වඩා විශාලය. කෙසේ වෙතත් මේ ආයෝජන මේ කුලුන වෙත ආකර්ෂණය වන්නේ නම් එහි අවසාන ප්‍රතිඵලය මේ රට භුක්ති විඳිනු ඇත.
හත්වන තට්ටුව කොළඹ අහස යට විවෘත නිරීක්ෂණ මණ්ඩපයය. කුලුන තුළ ප්‍රවේශ පහසුකම් සපයමින් විදුලි සෝපාන 08ක් ක්‍රියාත්මකය. ඉන් කිහිපයක්ම ඉහළ තාක්ෂණයකින් යුතු අධිවේගී විදුලි සෝපානයන්ය. විදුලි විසන්ධි වීමක දී ස්වයංක්‍රීයව අධිබල විදුලි ජනකය යන්ත්‍රයක් හා එම සෝපාන සම්බන්ධ වේ.
මේ සමඟම විනෝදාස්වාද ඉසව් වෙනුවෙන් ඉඩ හසර ලබා දීමත් ඒ මගින් ආදායම් ඉපදීමත් මේ වනවිට සිදුවෙමින් ඇත. ඔවුන් අපට කීවේ දැනටමත් එවැනි ඉසව් ගණනාවක් සඳහා ඇනවුම් ලැබී ඇති බවය.
“බංජි ජම්පින්“ සහ “ස්කයි ඩයිවින්“ යන ඉසව් දැනමටත් නෙළුම් කුලුනේ ක්‍රියාත්මකය. බන්ගි ජම්පින් යනු ලෝ ප්‍රකට ත්‍රාසජනක ක්‍රීඩාවකි. ස්කයි ඩයිවින් ද එසේය.
දැනට තුර්කි සමාගමක් මගින් මෙම ඉසව්වන් පැවැත්වීම සිදුකරනු ලැබේ. ඉසව්වට සහභාගී වීම සඳහා අය කිරීම ඩොලර් 600කි. ඉන් සියයට 15ක් රජයටය. දැනට “බංජි ජම්පින්“ සිදුකරන ලෝකයේ උසම ගොඩනැගිල්ල නෙළුම් කුලුන බව “කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම” අපට කීවේය.
කාලය මට හොරා ගත වී තිබේ. දැන් කොළඹ අහස යටින් ඉවත් වී නැවතත් කොළඹ මහ පොළොවට පය ගැසිය යුතුව ඇත. කොළඹ මහ පොළොව මේ මොහොතේ කටුකය. මහපොළොවේ ජීවිතය පහසු නැත.
මේ දැවැන්ත කුලුනු ඒ පොළොවට බරක් නොවී මහපොළොවේ ජීවිතවලට සෙවණ දෙන සෙවණක් වනු ඇති බවට සුබ ලකුණු පමණක් දකිමි. ප්‍රශ්නයක කොටස් කරුවෙක් වනවාට වඩා විසඳුමක් සඳහා වූ ප්‍රාර්ථනාවක සිතිවිලි මාත්‍රයක් වැදගත් වන්නේ හැමදාම ලෝකය යහපත් තැනක් කළේ යහපත් ප්‍රාර්ථනා නිසාය.
ටානියා මෝසස්