සුවඳ විලවුන් යනු වයස් භේදයක් නොමැතිව බොහෝ දෙනෙක් ගැල්වීමට ප්‍රිය කරන එසේම තරුණ තරුණියන්ට නැතිවම බැරි අංගයකි. කාන්තාවන් වැඩි ප්‍රමාණයකගේ ගමන්...
සුවඳ විලවුන් යනු වයස් භේදයක් නොමැතිව බොහෝ දෙනෙක් ගැල්වීමට ප්‍රිය කරන එසේම තරුණ තරුණියන්ට නැතිවම බැරි අංගයකි. කාන්තාවන් වැඩි ප්‍රමාණයකගේ ගමන් මල්ලේ සුවඳ විලවුන් බෝතලයක් තිබීම වර්තමානයේදී සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ.
ලෝකයේ විවිධ නම්වලින් සුවඳ විලවුන් නිපදවෙන අතර ගාර්ඩිනියා, ඕලු, නෙළුම්, සමන්පිච්ච, රෝස ආදී මල් වර්ග හා පලතුරු වර්ගවල සුවඳ බහුලවම සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගනියි.
ඔබත් යොවුන් වියේ පසුවන තරුණියක් නම්, නිවැරැදිම සුවඳ විලවුන් වර්ගයක් තෝරා ගන්නා ආකාරය, භාවිත කරන ආකාරය දැන ගැනීමට මෙම ලිපිය ඔබට වැදගත් වේවි.
ඔබ දන්නවාද? ඔබ භාවිත කරන සුවඳ විලවුන් වර්ගය ඔබේ අනන්‍යතාව ඔප්පු කරන එක් සාධකයක් බව.
ඔබ යම් සුවඳ විලවුන් වර්ගයක් භාවිත කරන විට එහි සුවඳින් ඒ ඔබ යැයි බොහෝ දෙනෙකු හඳුනා ගනු ලබයි.
ඇතැම් සුවඳ විලවුන් ඇඳුම් මත තැවරීමෙන් පසු ඇඳුම මත පැල්ලම් ආකාරයෙන් ද සිටින නිසා ඔබ තෝරා ගන්නා සුවඳ විලවුන් වර්ගය පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් වන්න.
විශේෂයෙන්ම සුදු පැහැති ඇඳුම්වලට කහ පැහැති සුවඳ විලවුන් භාවිත නොකළ යුතුය. ඒ නිසාම සුවඳ විලවුන් තවරන විට කන අසල, බෙල්ලට පහළින් තිබෙන හිසකෙස්වලට ආලේප කරන්න.
බොහෝ වෙලාවට අප විමසා බලන්නේ සුවඳ විලවුන් ගැල්වූ පසු එය කොපමණ වෙලාවක් සුවඳවත් වේද යන්න පිළිබඳව පමණයි.
එකම වර්ගයේ නිෂ්පාදන එනම්, ඔබ මිලදී ගත යුත්තේ ඔබ භාවිත කරන ඩියෝඩ්‍රන්ට් එකට ගැළපෙන සුවඳ විලවුන් වර්ගයකි.
නැතිනම් සුවඳ වර්ග දෙකකින් යුතු ඩියෝඩ්‍රන්ට් එකක් සහ සුවඳ විලවුන් වර්ගයක් ආලේප කළ විට ඔබ ගල්වන සුවඳ විලවුන් වර්ගයෙන් නිසි ප්‍රතිඵලයක් ඔබට ලැබෙන්නේ නැත.
ඕනෑම සුවඳ විලවුන් වර්ගයක්ම භාවිත කළ යුතු කාලයක් තිබේ. දහවල් කාලවලදී සහ උණුසුම් කාලගුණයක් සහිත මාසවලදී සැහැල්ලු සුවඳකින් යුතු විලවුන් වර්ගද සීතල කාලයකදී හෝ යම්කිසි උත්සව අවස්ථාවකට සහභාගි වන විට ප්‍රබල සුවඳකින් යුතු විලවුන් වර්ගද භාවිත කිරීම සුදුසුය.
ඔබ අනිවාර්යයෙන්ම කල්පනා කළ යුතු කරුණක් වන්නේ ඔබ ගල්වන සුවඳ විලවුන් වර්ගය නිසා තවත් කෙනකු අපහසුතාවට ලක්වේද යන්නයි.
ඕනෑම විලවුන් වර්ගයක් යෙදිය යුතු වන්නේ ඔබේ සම මතටයි. ඇඳුම් මත සුවඳ විලවුන් යෙදීම නිර්දේශ නොකරන අතර එයට හේතුව වන්නේ කපු, ලොම්, වූල්, ලිනන් වැනි රෙදිවලට සුවඳ විලවුන් ස්ප්‍රේ කළ පසු කාලයක් ගතවන තුරු එම ඇඳුම් මත සුවඳ රැඳී තිබේ.
ඔබ කලින් කලට සුවඳ විලවුන් මාරු කරනවා නම් මෙය ගැටලුවකි. එසේම සැහැල්ලු ඇඳුම් මත සුවඳ විලවුන් යෙදීම නිසා පැල්ලම්ද ඇති විය හැකිය.
විලවුන් භාවිත කරන බොහෝ දෙනෙකු බහුල වශයෙන් සිදුකරන දෙයක් නම් මැණික් කටුව අසලට විලවුන් යොදා පිරිමැදීමයි.
එය නොකළ යුතු දෙයකි. එසේ සිදු කිරීමෙන් සුවඳ විලවුන්වල අණු විනාශ වී යා හැකිය. එම නිසා සුවඳ විනාශ නොවී රැක ගැනීමට සුදුසුම දෙය වන්නේ ස්ප්‍රේ කිරීමයි.
සුවඳ විලවුන් යෙදිය යුත්තේ කුමන ස්ථානවලටද යන්න බොහෝ දෙනාට මතුවන ගැටලුවකි. සුවඳ විලවුන් යෙදීම වඩාත් සුදුසු වන්නේ කන් පිටුපසට සහ මැණික් කටුව ආදී ප්‍රදේශවලටය.
මෙම ප්‍රදේශවල තිබෙන රුධිරවාහිනි සමෙහි මතුපිටට ආසන්නයෙන් පිහිටා තිබෙන නිසා එයින් ඇතිවන උෂ්ණත්වය සහ ස්පන්දනය සුවඳ පැතිරීමට උපකාරී වෙයි.
මෙම ප්‍රදේශවල මේද ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් පිහිටා තිබෙන නිසා තෙල් පදනම් කරගත් සුවඳ විලවුන් ආලේපයෙන් වළකින්න.
හිසකෙස්වලටද සුවඳ විලවුන් ඉසීම මඟිනුත් සුවඳ රඳවා ගන්නට හැකියාව ලැබෙන අතර ඇල්කොහොල් මත පදනම් වූ සුවඳ විලවුන් මඟින් හිසකෙස් වියළීමට ලක්කරන නිසා සෘජුව ස්ප්‍රේ නොකර පනාව මතට සුවඳ විලවුන් යොදා ආලේප කරන්න.
සුවඳ වැඩි වෙලාවක් රඳවා ගන්නා ස්ථානය ලෙස හා සුවඳ විලවුන් සඳහා වඩා බලවත් ප්‍රදේශය වන්නේ ගෙල පිටුපසයි.
මෙම ප්‍රදේශයට ශීත කාලයේදී පමණක් සුවඳ විලවුන් ඉසීම කළ යුතු අතර එයට හේතුව වන්නේ උණුසුම් කාලයේදී තාපය මඟින් ඔබේ සුවඳ විලවුන්වලින් නිකුත්වන සුවඳ තවදුරටත් තීව්‍ර කිරීමට හැකියාව තිබෙන නිසයි.
අනෙක් ස්ථානවලට සාපේක්ෂව වැළමිට අසලට සුවඳ විලවුන් යෙදීම සුදුසු යැයි හඳුන්වන අතර එහෙත් මෙම ස්ථානවල සම ඉතා මෘදු නිසා ඇතැම් සුවඳ විලවුන් මඟින් අසාත්මිකතා ද ඇති වීමද සිදුවිය හැකිය.
විවිධ සුවඳ විලවුන් වර්ග
සුවඳ විලවුන්වල තිබෙන්නේ මූලික සුවඳ වර්ග කිහිපයකි. එය Fragrance Wheel යනුවෙන් හඳුන්වන අතර මෙම මූලික සුවඳ වර්ග කිහිපයට අප වෙළෙඳපොළෙහි මිලදී ගන්නා සුවඳ විලවුන්ද අයත් වේ.
සුවඳ විලවුන් කුප්පිවල කුඩාවට Eau de Parfum නැතිනම් Eau de Toilette වැනි වචන කිහිපයක් ගසා ඇති ආකාරය බොහෝ විට ඔබ දැක ඇත.
නමුත් ඔබ මෙවැනි වචනවල තේරුමක් කිසිදාක සොයා බලන්නට උත්සාහ කර නැතිවෙන්නට පුළුවන්. මේවායෙහි තේරුම දැනගෙන වෙළෙඳපොළට ගියහොත් ඔබට අවශ්‍ය ආකාරයට සුවඳ විලවුන් මිලදී ගැනීමට පහසු වේවි.
Parfum
මෙමඟින් පිරිසුදු සාන්ද්‍ර සුවඳ විලවුන් මිශ්‍රණයක් අඩංගු බව සඳහන් වේ. 15% සිට 40% දක්වා ඉහළ සුවඳ විලවුන් සාන්ද්‍රණයක් මෙහි තිබෙන අතර ඒ නිසාම පැය 6 -8 අතර කාලයක් මෙහි සුවඳ ශරීරයේ රැඳී පවතියි.
එමෙන්ම මෙහි ඇල්කොහොල් සාන්ද්‍රණයද ඉතා අඩු අතර මෙවැනි සුවඳ විලවුන් වර්ගයක මිලද ඉතා අධික විය හැකිය.
Eau de Parfum
දෙවැනුවට වැඩිපුරම සුවඳ විලවුන් සාන්ද්‍රණය වන්නේ මෙයයි. මෙහි සාමාන්‍ය සුවඳ විලවුන් සාන්ද්‍රණය 15%ත් 20% ත් අතර වේ.
සාමාන්‍යයෙන් පැය 4-5 කාලයක් සිරුරේ සුවඳ රැඳී තිබේ. එදිනෙදා පාවිච්චියට මෙය වඩාත් සුදුසුය.
Eau de Toilette
මෙහි සුවඳ විලවුන් සාන්ද්‍රණය 5% සිට 15% දක්වා තිබේ. මිල ගණන්ද අඩු නිසා බොහෝ දෙනෙකු භාවිත කරන අතර මෙහි සුවඳ රැඳී තිබෙන්නේ පැය 2-3 අතර කාලයකයි. ඇතැම් අය මෙය දිවා කාලයටද නිර්දේශ කරති.
Eau de Cologne
ඕඩිකොලොන් නැතිනම් Edu යනු අන් සුවඳ විලවුන්වලට සාපේක්ෂව අඩු සුවඳ විලවුන් සාන්ද්‍රණයකි.
මෙහි සුවඳ විලවුන් සාන්ද්‍රණය සාමාන්‍යයෙන් 2%ත් 4%ත් අතර වේ. මිල ගණන්ද අඩු නිසා මෙහි සුවඳ රැඳී තිබෙන්නේ පැය දෙකක් වැනි කාලයකි.
මෙය සුවඳ විලවුන් වර්ගයක්ම නොවන බවද පැවසිය යුතුයි.
එසේම මයිකල් එඩ්වර්ඩ් විසින් හඳුන්වා දෙන ලද Fragrance Wheel නැතිනම් සුවඳ රෝදය සුවඳ විලවුන් සඳහාම සකස් වූවකි.
Fragrance Wheel යනු විවිධ සුවඳ විලවුන් සහ එයට යටතේ පවතින සුවඳ විලවුන් වර්ග ප්‍රදර්ශනය කරන වටකුරු රූප සටහනකි.
මෙවැනි දෙයක් සෑදීම සඳහා හේතු වී ඇත්තේ සුවඳ විලවුන් අලෙවි කරන වෙළෙඳුන්ට වඩාත් කාර්යක්ෂමව පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහායි.
මෙය ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදා දක්වා ඇත. එනම් නැවුම් දේවල්වලින් නිෂ්පාදිත සුවඳ විලවුන්, දැවයෙන් නිෂ්පාදිත සුවඳ විලවුන්, පෙරදිග රටවල්වල නිපදවන සුවඳ විලවුන්, මල්වලින් නිපදවන සුවඳ විලවුන්, ලෙස වර්ග කොට ඇත.
තවද එය යටතේද උප කොටස් රැසක් තිබෙන අතර වෙළෙඳපොළෙහි තිබෙන අනෙකුත් සුවඳ විලවුන් වර්ග එම කොටස්වලට අයත් වේ.
ඔබත් විලවුන් භාවිත කරන්නේ නම් මේ පිළිබඳ දැනුවත් වීම අගනේය.
සචිනි බස්නායක