Tattoo කියන්නේ කලාවක්. වර්තමානයේ ලංකාවේ Tattooවලට ලොකු කැමැත්තක් දක්වන පිරිසක් ඉන්නවා. ඒත් කෙල්ලෙක්Tattoo එකක් කරනවා කිව්වාම මිනිස්සු කොයි ...
ඉෂී සමඟ අප කතා බහ කරන්නෙ ඇගේ ජීවින අත්දැකීම් පරාසය අපට අලුත් අත්දැකීම් ගෙනෙන නිසා. ඉෂී තෝමස් පදිංචිවෙලා ඉන්නෙ වත්තල. පවුලෙ ඉන්නෙ අම්මා සහ අක්කා. වයස අවුරුදු 27යි. මුලින්ම පෞද්ගලික පාසලක ප්‍රාථමික සිසුන්ට අධ්‍යාපනය ලබා දෙන ගුරුවරියක්. මනෝ විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරමින් සිටි ශාස්ත්‍ර ගවේෂී තරුණියක්.
මෙවැනි තරුණියක් සිය වෘත්තිය විදිහට ටැටූ ශිල්පය තෝරා ගැනීම වෙනස්ම කතාවක්. අප ඒ පිළිබඳ විමසමින් කතාබහ පටන් ගත්තා.
“මම පොඩි කාලේ ඉඳලා Tattoo වලට හරිම ආසයි. ඒ කාලේ Tattoo Stickers හම්බ වුණාම ඇඟ පුරාම අලවගෙන ඉන්නවා. A/L ඉවර වෙලා ටිකක් කල් ගියාම මට හිතුණා පොඩි Tattoo එකක් කරගන්න. Tattoo Artist කෙනෙක්ට කියලා මම පොඩි Tattoo එකක් කරගත්තා. ඒ කාලේ Tattoo Artist කෙනෙක් වෙන්න කිසිම අදහසක් තිබ්බේ නැහැ.
මම ඒ කාලේ ප්‍රාථමික අංශයට උගන්වන ගුරුවරියක්. උසස් අධ්‍යාපනය කටයුතු මනෝවිද්‍යාව අංශයෙන් හදාරමින් හිටියේ. ඉතින් 2017 මගේ උපන්දිනේ දවසෙත් මම තව Tattoo එකක් කරගත්තා. ඒකට මම ලොකු කැමැත්තක් ඇති වුණු නිසා මට ඒක කරන විදිහ ඉගෙන ගන්න ඕනේ වුණා.“
ඇය ටැටූ ශිල්පය ඉගෙන ගන්නෙ දක්ෂ ශිල්පියෙක් වූ දිමූ ප්‍රනාන්දුගෙන්. ඇය ඒ සඳහා බොහෝ කාලයක් පුහුණු වුණා.
“ටැටූ කලාවට තියෙන ආසාව නිසාම මෙතෙක් කළ සියල්ලම මා ඇත් හැරියා. පස්සෙ එරාන් සහ දිමූගේ සහාය ඇතිව 2018 අගොස්තුවේ ඉඳන් ටැටූ ශිල්පිනියක් ලෙස ජීවිතය පටන් ගත්තා..“ ඇය සිනාසෙමින් අප සමඟ කිව්වා.
පළවෙනි Tattoo එක කරද්දී ඒ දැනුණු අත්දැකීම කොයි වගේද? අප ඇගෙන් විමසන විට සිනාව අතරින්ම නුදුරු අතීතයට යන අයුරු පෙනුණා.
“ඒ වෙලාවේ නම් ටිකක් බය වුණා. අත වෙව්ලලා දාඩිය දාලා බයෙන් තමයි කළේ. ඊට පස්සේ පුහුණුවත් එක්ක ඒ බය නැති වුණා. ඒ මොහොතේ තිබ්බ බය අදටත් මතකයි.“
ටැටූ එකක් පින්තාරු කරගත්ත කෙල්ලෙක් දිහා ඇස් උඩ තියන් බලන සමාජයක ටැටූ කොටන කෙල්ලකුට මොනව නොකියයිද? එය අපට ඉෂීගෙන් අහන්නම ඕන වෙච්චි ප්‍රශ්නයක්.
“ මම ගුරුවරියක් විදිහට ඉන්න කලේ මගේ ඇඟේ Tattoo එකක් තියෙනවා බව දැන ගත්තම මුලින්ම වෘත්තීයමය වශයෙන් සමහරුන්ගෙන් බලපෑම් ආවා. නමුත් Tattoo එකක් මගෙ රැකියාවට බාධාවක් බව මට කිසිම විටෙක හිතුණේ නැහැ. ඒ නිසා මට ටැටූ එක ඉවත් කරගන්න අවශ්‍ය වුණෙත් නෑ. ඉතින් මගේ කැමැත්තට ගුරු වෘත්තීයෙන් ඉවත්වෙලා Tattoo Artist කෙනෙක් විදිහට වැඩ පටන් ගත්තා.
එහෙම වැඩ පටන් ගන්නකොට මගේ වටේ හිටපු බොහෝ දෙනෙක් මාව දෝෂ දර්ශනයට ලක් කළා. මුලදී ගෙදර අයත් ඇකමැති වූණා. ඒත් පසුව ඔවුන් මාව තේරුම් ගත්තා. මේ සමාජයේ සමහර අය අපි දිහා බලන්නේ හරිම අවුල් සහගත විදිහට. එකම සුබවාදී දේ තමයි මෑත කාලයේ ටික ටික මේ සමාජ මනෝභාවය වෙනස්වෙන බව පෙනීම.
ටැටූ කියන්නෙ කලාවක්. ප්‍රගුණ කළ යුතු ශිල්පයක්. අන්තර්ජාතිකව පිළිගත් විලාසිතාවක්. ඒත් අපේ සමාජය ඒ ගැන මේ තරම් පහළින් කල්පනා කරන්න හේතුව මොකක් ද? ඉෂී ගෙ අත්දැකීමෙන් දෙන උත්තරය දැනගන්න අප හිටියෙ කුතුහලයෙන්.
“ ලංකාවේ මේ ප්‍රශ්නේ වැඩිපුරම බලපාන්නේ ගැහැනු ළමයින්ට. මම පාරක ගියත් මගේ Tattoos පේද්දී මිනිස්සු හාස්‍යෙයන් හිනා වෙලා අමුතු විදිහට බලනවා. නමුත් ඒ දෙවල් හිත හිත ජීවත් වුණොත් අපිට ඉස්සරහට යන්න බැරි වෙනවා. මම මුලින් කිව්වා වගේ Tattoo එකකින් කිසිම කෙනකුට භෞතිකමය හානියක් සිදුවන්නේ නැහැ. ඒක හරි අපූරු කලාවක්. විකල්ප කලාවක් පිළිගන්න සමාජ මානසිකත්වය හැදෙන්න කාලයක් යනවා. මෙවැනි අභියෝගයක් භාර ගන්නවා නම් ඒ අවබෝධය තිබිය යුතුයි.
“ Tattoo කරගෙන යනකොට වැරදීම් වෙලා නැද්ද? “ අප ඇයව යළි ප්‍රායෝගික ශිල්පයට යොමු කළා.
මුල් කාලයේදී නම් පොඩි පොඩි අඩු පාඩූ වෙලා තියෙනවා. එක් සිද්ධියක් මට මතකයි. ඒ කාලේ මට මඕරි Tattoo එකක් කරන්න ආවා. එතකොට මට ලොකු අත්දැකීමක් තිබ්බේ නැහැ Tattoo සම්බන්ධයෙන්. ඒක ටිකක් අමාරුයි. ලොකු කාලයක් යනවා. කරගන්න බැරි වෙයි කියලා බයේ ඇඬෙන්න ගත්තා. ඒ වෙලාවේ තවත් Tattoo Artist කෙනෙක්ගේ සහාය ඇතිව ඒ වැඩේ ඉවර කරගත්තා. එය මගේ ජීවිතේ අමතක නොවන සිද්ධියක්.“
දැනට ලංකාවේ Tattoo වලට තියෙන ඉල්ලුම කොයි වගේද? අප ඇගෙන් විමසුවා.
ඉස්සර Tattoo ගහනවා අපි දැක්කේ හරි අඩුවෙන්. ඒත් දැන් ඒක වෙනස්. මේ වෙද්දී Tattoo එකක් කරන්න කැමැති කෙනෙක් සෞඛ්‍යාරක්ෂිතව, නිවැරැදි ප්‍රමිතියට Tattoo එකක් කරන්නේ කොහොමද යන්න අධ්‍යයනය කරලායි අපි ළඟට එන්නේ. ඉස්සරට සාපේක්ෂව දැන් Tattoo කරන්න එන අය වැඩියි. ඉස්සරට වඩා Tattoo Artists ලා වගේම Tattoo කරන ආයතන ගොඩක් තියෙනවා. ඒක මේ ක්ෂේත්‍රයේ හොඳ ප්‍රවණතාවක්. තමන්ගේ ඇඟේ Tattoo එකක් කළාම තව Tattoo එකක් කරපු කෙනෙක් දිහා වැරදි කෝණයකින් බලන එකත් නැති වීගෙන යන නිසා කාලයත් එක්ක මිනිස්සුගේ ඔළු හැදෙයි කියන සතුට තියෙනවා.
කාලය ගෙවෙමින් තිබුණා. ඉෂීගෙන් සමුගන්න වෙලාව ඇවිත්. අවසාන වශයෙන් මේ ටැටූකාර යුවතියගෙන් අප මෙසේ විමසුවා.
“ Tattoo Artist කෙනෙක් වෙන්න කැමති ගැහැනු ළමයෙක්ට ඔබට කියන්න තියෙන්නෙ කුමක් ද? ඇය හැඟීම්බරව කතා කළා.
මේක මගේ රැකියාව වුණාට මම මේකට හරි ආදරෙයි. සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක ගොඩක් ගැහැනු ළමයි කොච්චර ආසාව තිබ්බත් මේ ක්ෂේත්‍රයට එන්න බයයි. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ නියැළෙන ගැහැනු ළමයි ඉන්නේ ඉතාමත් සුළුපිරිසක්. ඒත් තමන්ට දක්ෂතාව, හැකියාව, නිර්මාණශීලිත්වය තියෙනවා නම් සමාජයට බයේ මේ ක්ෂේත්‍රයට එන එක මඟහැරගන්න එපා. තමන්ගේ ගෞරවය තියාගෙන නිදහසේ ජීවිතය විඳිමින් කරන්න පුළුවන් වෘත්තියක් හා කලාවක් මේක. ලෝකය වෙනස් වෙයි. ඔබ ඔබේ ජීවිතය විඳිමින් මේ කලාව කරන්න.